පොලීසිය යළි හදන දැවැන්ත සැලසුම: වෙනස් වන නිල ඇඳුම සහ නූතන පොලිස් නිලධාරියාගේ නව පෙනුම මෙන්න!

🔰- ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුම සැප්තැම්බර් 03 වනදා පස්වරුවේ තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වුණු අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් රට හමුවේ තැබීය.

🔰- ගෙවී ගිය වසර 160ක දීර්ඝ කාලය තුළ, රටත් මහජනතාවත් විවිධ ව්‍යසනයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉටුකළ භාරදූර කාර්යභාරය ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

🔰- විවිධ යුගවල විවිධ අභියෝගයන්ට මුහුණ දුන් පොලීසියට වර්තමානයේ පැවරී ඇති ප්‍රමුඛතම වගකීම වන්නේ, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ ජාතික වගකීමයි.

🔰- එය හුදු වෘත්තීය වගකීමකින් එහා ගිය සමාජීය වගකීමක් ලෙස සලකා කැපවන ලෙස ජනාධිපතිවරයා සමස්ත පොලිස් බලකායෙන් ඉල්ලා සිටියේය.

🔰- පසුගිය වසර දෙක තුළ මෙරට ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය සිදුකිරීම පිළිබඳව පොලීසියට ප්‍රශංසා කළ ජනාධිපතිවරයා, එහිදී මතුවන ප්‍රධාන ගැටලුවක්ද පෙන්වා දුන්නේය👇

🗣️”අපිට ඔබ කෙරෙහි විශාල ඇගයීමක් තියෙනවා. පසුගිය වසර දෙකේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් කළා. ඒ නිසා වැදගත්ම දේ අත්අඩංගුවට ගන්නවා හා සමානවම වේගවත්ව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් ලබාදීමයි. හැබැයි ඒ ක්‍රියාදාමය ගත්තොත් විශාල ප්‍රමාදවීමක් තිබෙනවා. මේ සඳහා තියෙන සෑම ආයතනයක්ම සක්‍රීය විය යුතුයි. නැතිනම් අපරාධකරුවන් දන්නවා දඬුවම් ලැබෙන්නේ පමාවෙලා බව.

ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාවලි කාර්යක්ෂම කිරීමට තීරණ ගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති අපි සම්පාදනය කරලා දීලා තියෙනවා. රටේ පොදුජන සුබසිද්ධිය උදෙසා සහ මේ රට සාමකාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වෙනවා නම්, ව්‍යවස්ථා සංශෝධන පවා සිදුකිරීමට අපි කිසිසේත් පැකිළෙන්නේ නැහැ.”

🔰- එමෙන්ම, විදේශයන්හි සැඟවී සිටි සන්නද්ධ අපරාධකරුවන් 74 දෙනෙකු ජාත්‍යන්තර රාජ්‍යයන්ගේ සහාය ඇතිව මෙරටට ගෙන ඒමට හැකිවීමද මෙහිදී ඇගයීමට ලක් විය.

🔰- ශ්‍රී ලංකා පොලීසිය නූතන යුගයට ගැලපෙන පරිදි යළි ගොඩනැගීමේ දැවැන්ත සැලසුම හෙළි කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පොලිස් නිලධාරියාගේ පෙනුම සහ පහසුකම් සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවයි.

🗣️ “පොලිස්පතිතුමාත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා, අපේ මේ නිල ඇඳුම ටිකක් වෙනස් විය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා. ලබන අවුරුද්දේ මැද භාගය වන විට අලුත් නිල ඇඳුමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

මම දැනටමත් පොලිස්පතිතුමාට කිව්වා හොඳ ෆැෂන් ඩිසයිනර් කම්පැනි එකකට කියලා හොඳ යුනිෆෝම් එකක් ඩිසයින් කරන්න කියලා. අලුත් නූතන යුගයට ගැලපෙන පොලිස් නිලධාරියෙක් නිර්මාණය කරන්න ඕනේ.

බොඩි කැමරාවක් (Body cam), බැටන් එක, ටෝච් එක සහ අවශ්‍ය සියලු යතුරු අංගෝපාංග තියෙන නිල ඇඳුමක් එක්ක පොලීසිය යළි හදන්න ඕන.”

🔰- ශ්‍රී ලංකා පොලීසිය ඉතා ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් පහත පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය👇

🔰- විනිවිදභාවයෙන් යුතු, නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම.

🔰- නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබාදීම.

🔰- අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ අලුතින් බඳවාගැනීම් සිදුකිරීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *