අඳුරට හේතුව බාල ගල් අඟුරු නොවේ; ප්‍රමිතියකින් තොර වූ පද්ධති කළමනාකරණයයි!

🔰- පසුගියදා මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම සිදුවූයේ බාල ගල්අඟුරු භාවිතය නිසා බවට විපක්ෂය එල්ල කරන චෝදනා බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය.

🔰- ඔක්තෝබර් 17 වැනි සෙනසුරාදා උදෑසන 11:44 ට සිදු වූ මෙම බිඳවැටීමට හේතුව ගල්අඟුරු වල ප්‍රමිතිය හෝ කොත්මලේ බලාගාරයේ දෝෂයක් නොවන බව තහවුරු වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

🔰- විදුලි ඉංජිනේරුවන්ට අනුව පැරණි ගල්අඟුරු තොග සැප්තැම්බර් 04 වන දිනෙන්ම අවසන් වී ඇති අතර, දැනට භාවිත වන්නේ අලුත් තොග වේ.

🔰- මෙම අනපේක්ෂිත බිඳවැටීමට මූලික වී ඇත්තේ අවදානම් සහගත දිනයක බලාගාරයක් තුළ සිදුකළ මතභේදාත්මක නඩත්තු කටයුත්තකි.

🔰- නිවාඩු දිනයක් වූ එදින හොඳින් හිරු පායා තිබීම නිසා පද්ධතිය තුළ විශාල සූර්ය බලශක්ති අතිරික්තයක් පැවතිණි.

🔰- මෙවැනි දිනවල ජාතික පද්ධතිය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව 2025 පෙබරවාරි මාසයේ සිදු වූ මෙවැනිම සිදුවීමකින්ද පාඩම් ඉගෙනගෙන තිබිණි.

🔰- පෙරවරු 11:43 වන විට පද්ධතියට මෙගාවොට් 1137 ක බලයක් (ගල්අඟුරු වලින් MW 516 සහ ජල විදුලියෙන් MW 621) සැපයෙමින් පැවතුණි.

🔰- මෙම අවස්ථාවේදී ගල්අඟුරු බලාගාරයේ ඒකකයක සිදුවෙමින් පැවති නඩත්තු කටයුත්තක තාක්ෂණික සංකූලතාවයක් මත එහි ජනන බලය සීඝ්‍රයෙන් පහළ ගිය අතර පද්ධතියේ සංඛ්‍යාතය (frequency) බිඳ වැටුණි.

🔰- සෙසු බලාගාර හරහා පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට උත්සාහ කළද, පද්ධතියේ පාලනයෙන් තොරව තිබූ ජනන ධාරිතාවන් ඉවත් වීම නිසා සමස්ත ජාලයේ සමතුලිතතාව සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය.

🔰- කෙසේ වෙතත්, අක්‍රිය වූයේ අදාළ ගල්අඟුරු යන්ත්‍රය පමණක් වන අතර වෙනත් බලාගාර බිඳවැටීමකට ලක්ව නැත.

🔰- සිදුවීම සැලවූ වහාම ජනාධිපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා සෘජුවම ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයට පැමිණ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළහ.

🔰- පස්වරු 12:37 වන විට ප්‍රථම ප්‍රතිස්ථාපනය සිදු කෙරිණි.

🔰- පස්වරු 5:00 වන තෙක් ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා පද්ධති පාලන මධ්‍යස්ථානයේ රැඳී සිටියහ.

🔰- රාත්‍රී 9:05 වන විට දිවයින පුරා විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය.

🔰- පද්ධතිය දැඩි අවදානම් තත්ත්වයක පැවති දිනයක මෙවැනි අවදානම් සහිත නඩත්තු කටයුත්තක් තෝරාගත්තේ මන්දැයි යන්න පිළිබඳව තමාට විශාල ගැටලුවක් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

🔰- අමාත්‍යාංශ ලේකම්වරයා හරහා මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තනි යන්ත්‍රයක දෝෂයක් නිසා මුළු ජාතික පද්ධතියම අක්‍රිය වීම කිසිසේත්ම පිළිගත නොහැකි බැවින් ඉදිරියට මෙවැන්නක් නොවීමට වහාම පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *