මහර වෙනයි… මීගමුව වෙනමයි…: මහර බන්ධනාගාර නොසන්සුන්තාව පාලනය කළ බව අධිකරණ ඇමති කියයි

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර සාමකාමී මට්ටමකට පත් කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට පෙර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වයට වඩා මහර බන්ධනාගාරයේ සිදුවීම මුලුමනින්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවයි. මීගමුව බන්ධනාගාරයේදී රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගත්තද, මහර සිදුවීම බන්ධනාගාර පාලනාධිකාරිය අරමුණු කරගනිමින් එල්ල වූවක් බවට නිරීක්ෂණය වී තිබේ.

සිරගෙවල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති තදබල තීරණ හමුවේ ඇති වූ අකමැත්ත සහ තරහව මෙම නොසන්සුන්තාවට ප්‍රධාන හේතුව වන්නට ඇති බවට සැක කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. දිවයිනේ සෑම බන්ධනාගාරයකම මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින්, ඊට දක්වන විරෝධය මෙවැනි තත්ත්වයන්ට මග පාදන බවත්, මේ පිළිබඳ නිශ්චිත තොරතුරු මූලික පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු තහවුරු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වන විට බන්ධනාගාර සංකීර්ණයේ ආරක්ෂාව උදෙසා පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද (STF) යොදවා ඇති අතර, නොසන්සුන්තාව හේතුවෙන් හානියට පත් වූ දේපළ නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත. තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වීමත් සමඟ රැඳවියන් නැවත ඔවුන්ගේ මැදිරි වෙත යොමු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පහසුකම් සපයමින් බන්ධනාගාරයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව මූලික පරීක්ෂණ වාර්තාවක් කැඳවීමට කටයුතු කර ඇති අතර, එහිදී එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් පවතී. මෙම සිදුවීමට අදාළ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ඊට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිත බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *