🔰- ගර්භණී සමයේදී අපේ ගර්භාෂය ඇතුළේ හැදෙන ඉතාම වැදගත් ඉන්ද්‍රියයක් තමයි වැදෑමහ (Placenta) කියන්නේ.
🔰- මේකෙන් තමයි පෙකණි වැල හරහා අම්මගේ ලේ වලින් බබාට අවශ්‍ය කරන ඔක්සිජන්, පෝෂණය සේරම ලැබෙන්නේ.
🔰- ඒ වගේම බබාගේ ඇඟේ හැදෙන අපද්‍රව්‍ය එළියට දාන්නෙත් මේකෙන්මයි.
🔰- හරියට ගෙදර තියෙන විදුලි උපකරණයකට ලයිට් දෙන්න ප්ලග් එකක් සවි කරනවා වගේ වැඩක්!
🔰- සාමාන්‍යයෙන් වෙන්නේ මේ වැදෑමහ ගර්භාෂයේ උඩ කොටසේ සවි වෙන එකයි.
🔰- ඒත් සමහර අම්මලාට ගර්භණී කාලයේදී වැදෑමහ ගර්භාෂයේ පහළ කොටසට සවි වෙනවා.
🔰- මෙන්න මේ තත්ත්වයට තමයි වෛද්‍ය විද්‍යාවේදී Placenta Previa නැතහොත් වැදෑමහ පහලින් පිහිටීම කියලා කියන්නේ.
🔰- වැදෑමහ පහලින් පිහිටද්දී බබා එළියට එන්න තියෙන දොරටුව, ඒ කියන්නේ ගැබ්ගෙල (Cervix) සම්පූර්ණයෙන්ම හරි අර්ධ වශයෙන් හරි වැහෙනවා.
🔰- ඉතින් බබා ප්‍රසූත වෙන්න හදද්දී මේක ලොකු බාධාවක් වෙනවා.
🔰- මේ තත්ත්වයේ තියෙන භයානකම දේ තමයි කිසිම කැක්කුමක් හෝ වේදනාවක් නැතුව ලේ පිටවීම (Painless Bleeding).
🔰- සාමාන්‍යයෙන් ඇඟට තදින් රිදෙනකොට අපි ඉක්මනට දුවලා ගිහින් දොස්තර මහත්තයෙක් හමුවෙනවනේ.
🔰- ඒත් මෙතනදී කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. පිටවෙන ලේ ප්‍රමාණය පොඩි ලේ බිංදුවක ඉඳන් ලීටර් ගණනක් වෙනකන් අධික වෙන්න පුළුවන්.
🔰- රෑට නිදාගෙන ඉද්දි කැක්කුමක් නැතුවම අධික ලෙස ලේ පිටවෙලා, මෙට්ටය පවා පෙඟිලා, අම්මා නොදැනුවත්වම මරණයට පවා පත්වුණු අවාසනාවන්ත සිද්ධි ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා.
🔰- ඒ නිසා මේ ගැන හරිම සපරික්ෂාකාරී වෙන්න ඕනේ.
🔰 – ඩොක්ටර්ලා වැදෑමහ පහල පිහිටීමේ බරපතලකම අනුව කොටස් 4කට බෙදනවා👇
🔷- Grade 1 (සරලම අවස්ථාව): වැදෑමහ ගර්භාෂයේ පහළින් තිබුණත් ගැබ්ගෙල විවරයට යම් දුරකින් පිහිටීම.
🔷- Grade 2 & 3: වැදෑමහ ගැබ්ගෙල අයිනටම එබී තිබීම හෝ අර්ධ වශයෙන් වසාගෙන තිබීම.
🔷- Grade 4 (බරපතලම අවස්ථාව): වැදෑමහ මගින් ගැබ්ගෙල විවරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබීම.
🔰 – සති 20දී විතර කරන මුල් ස්කෑන් එකකදී වැදෑමහ පහලින් තියෙනවා කිව්වට බයවෙන්න එපා! ගර්භාෂය ලොකු වෙනකොට, ගර්භාෂයේ පහළ කොටස ඇදෙන නිසා ගොඩක් වෙලාවට පහල තිබුණු වැදෑමහ ඉබේම උඩට යනවා.
🔰 – වැදෑමහ පහල පිහිටීමේ තත්වයට නිශ්චිතම හේතුවක් කියන්න අමාරු වුණත්, පහත සඳහන් අයට මේ අවදානම වැඩියි👇
🔷- කලින් ගැබ්ගැනීම් වලදීත් වැදෑමහ පහලින් තිබූ අයට.
🔷- කලින් සිසේරියන් (C-Section) හෝ ගර්භාෂයේ වෙනත් සැත්කම් කර ඇති අයට .
🔷- වයස අවුරුදු 35ට වැඩි මව්වරුන්ට.
🔷- දුම්පානය කරන හෝ සිගරට් දුම නිතර වදින අයට.
🔷- නිවුන් / තිදෙනෙකු (Twins/Triplets) ලැබෙන්න ඉන්න අයට (වැදෑමහ විශාල නිසා පහලට එන්න තියෙන ඉඩ වැඩියි).
🔷- කිහිප වතාවක් දරුවන් ප්‍රසූත කර ඇති මව්වරුන්ට.
🔰- මෙම තත්වයේදී වේදනාවක් හෝ වෙනත් බාහිර රෝග ලක්ෂණ කිසිවක් මතු වන්නේ නැත.
🔰- හදුනා ගැනීමට ඇති එකම ක්‍රමය අල්ට්‍රා සවුන්ඩ් (Scan) පරීක්ෂණයක් කිරීමයි.
🔰- වඩාත් පැහැදිලිව තත්ත්වය බලාගන්න Transvaginal Scan (TVS) පරීක්ෂණයක් කරන්නත් වෛද්‍යවරු උපදෙස් දෙන්න පුළුවන්.
🔰- මේ සඳහා ප්‍රතිකාර තීරණය කරන්නේ පිටවන ලේ ප්‍රමාණය, බබාගේ වයස සහ වැදෑමහ පිහිටලා තියෙන තැන අනුවයි.
🔷- සුළු ලේ පිටවීමක් නම් (බබාගේ වයස මදි නම්).
සම්පූර්ණ ඇඳ විවේකය (Bed rest) දෙයි. දැඩි ලෙස නිරීක්ෂණයට රෝහල් ගත කරයි. බබාගේ පෙනහැලි ඉක්මනින් මෝරන්න Steroid එන්නත් ලබා දිය හැක.
🔷- අධික ලෙස ලේ පිටවේ නම්:
බබාගේ වයස මොකක් වුණත්, මවගේ සහ බබාගේ ජීවිතය බේරාගැනීමට ක්ෂණික සිසේරියන් (Emergency C-Section) සැත්කමක් සිදු කරයි.
🔷- සති 36-37 පසු වී ඇත්නම්:
සාමාන්‍යයෙන් අවදානමක් නොගෙන ක්‍රමවත් සිසේරියන් සැත්කමක් (Planned C-Section) මගින් බබා එළියට ගනු ලැබේ.
🔴- අම්මලා අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ආරක්ෂිත උපදෙස්👇
❌ එකඟතාවයෙන් තොරව යෝනි මාර්ග පරීක්ෂණ (Internal examinations) කිරීමෙන් සහ ලිංගික සංසර්ගයෙන් තදින්ම වළකින්න. (මේවාගෙන් තදින් ලේ ගැලීමට පුළුවන).
❌ අධික ලෙස මහන්සි වෙන වැඩ, බර එසවීම් සහ දුර බැහැර ගමන් නැවැත්විය යුතුය.
✅ හදිසි අවස්ථාවකට ලෑස්ති වන්න➡️ එකපාරටම ලේ ගැලීමක් ආවොත් රෝහලට යන්න වාහනයක් සහ රුධිරය ලබාදීමට සුදුසු අයෙකු (Blood donors) ලෑස්ති කර තබාගන්න.
✅ ලේ පොදක් හරි පිටවුණොත්➡️ තත්පරයක්වත් පමා නොවී වහාම ළඟම තියෙන රෝහලට යන්න.
මතක තබාගන්න:
🔰- වැදෑමහ පහලින් පිහිටියා කියලා බිය විය යුතු නැත.
🔰- වෛද්‍ය උපදෙස් හරියටම පිළිපැදීමෙන් සහ හොඳ අවධානයෙන් සිටීමෙන් ඔබටත්, ඔබේ බිලිඳාටත් නීරෝගී ලෙස ලෝකය දකින්නට අවස්ථාව සැලසේ!