“ලංකාවේ පරීක්ෂණ විශ්වාස නෑ! චෙම්මනි මිනී වළ ළඟ පිටු 12ක පෙත්සමක් එක්ක අම්මලා ඉල්ලූ ජාත්‍යන්තර සාධාරණය”

🔰 – පසුගිය ජූලි 22 වන බදාදා යුරෝපා සංගමයේ (EU) තානාපති පිරිසක් යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ළඟ තියෙන සමූහ මිනී වළ නිරීක්ෂණය කරන්න එකතු වුණා.

🔰 – යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගත්ත විශේෂ අවසරයක් එක්ක සිද්ධ වුණු මේ ගමනට EU තානාපති කාර්මෙන් මොරීනෝ, ජර්මන් තානාපති ඩොක්ටර් ෆෙලික්ස් නියුමන්, ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට්, ඉතාලි තානාපති ඩෙමියානෝ ෆ්‍රැන්කොවින්ග් සහ නෙදර්ලන්ත තානාපති වෙයිබ් ඩි බෝර් ඇතුළු පිරිසක් එකතු වෙලා හිටියා.

🔰 – නමුත් තානාපති පිරිස එතැනට එද්දී, උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන එකතු වෙලා මිනී වළ ඉස්සරහා ලොකු විරෝධතාවක් පටන් අරන් තිබුණා.

🔰 – ඔවුන් ඉල්ලා සිටියේ දේශීය පරීක්ෂණ විශ්වාස නැති නිසා, යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් මේ ගැන සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා දෙන්න කියලයි.

🔰 – එතැනදී අතුරුදන් වූවන්ගේ පවුල්වල අය පිටු 12කින් යුත් පෙත්සමක් තානාපතිවරුන්ට භාර දුන්නා.

🔰 – දැනට තියෙන දේශීය පරීක්ෂණ ගැනවත්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය (OMP) ගැනවත් තමන්ට කිසිම විශ්වාසයක් නෑ කියලා කියපු ඥාතීන්, ජාත්‍යන්තර මට්ටමේ සාධාරණ පරීක්ෂණයක්ම ඉල්ලා සිටියා.

🔰 – පෙත්සම භාරගත්ත EU නියෝජිතයෝ කිව්වේ,

🗣️”අපිට මේකට ක්ෂණික විසඳුම් දෙන්න බැරි වුණත්, මේ තොරතුරු සහ ගැටලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UN) වගේම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව හමුවට අරන් යන්න උපරිමයෙන් කටයුතු කරනවා” කියලයි.

🔰 – මීට අමතරව ITAK පක්ෂයේ නියෝජිතයනුත් තානාපතිවරු හමුවෙලා, මේ අස්ථි කොටස් කොච්චර පරණද කියලා හොයාගන්න විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කළා.

🔰 – මේ සමූහ මිනී වළේ කැණීම් පටන් ගත්තේ 2025 පෙබරවාරි 20 වෙනිදා.

🔰 – ඒ එතැන සංවර්ධන වැඩක් කරමින් හිටපු පිරිසකට මුලින්ම මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවෙලා යාපනය පොලිසියට දැනුම් දුන්නට පස්සෙයි.

🔰 – 2025 සැප්තැම්බර් 6 වෙනිදා වෙනකොට 5 වන අදියර ඉවර වෙද්දී සිරුරු 240ක අස්ථි කොටස් හොයාගෙන තිබුණා.

🔰 – ඊටපස්සේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන, 6 වන අදියරේ කැණීම් 2026 අප්‍රේල් 27 වෙනිදා යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ ආයෙත් පටන් ගත්තා.

🔰 – අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජ් කියන විදිහට, ජූලි 21 වෙනිදා වෙනකොට තවත් සිරුරු 8ක අස්ථි කොටස් මතු කරගෙන තියෙනවා.

🔰 – ඒ අනුව දැන් මේ ස්ථානයෙන් මුළු සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙලා තියෙන අතර, ඉන් සිරුරු 444ක කොටස් සම්පූර්ණයෙන්ම ගොඩගෙන ඉවරයි.

🔰 – 6 වන අදියරෙන් විතරක් සිරුරු 204ක් ගොඩගෙන තියෙන අතර, කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස්, රබර් බෝනික්කෙක්, සපත්තු, කුඩා දරුවන්ගේ වළලු, කිරි බෝතලයක්, රන් භාණ්ඩ කැබලි, කාසි සහ ඇඳුම් කොටස් ඇතුළු විවිධ ද්‍රව්‍ය 130කට ආසන්න ප්‍රමාණයක් හමුවෙලා තියෙනවා.

🔰 – මීට කලින් ලංකාවෙන් හමුවුණු විශාලතම සමූහ මිනී වළ වුණේ සිරුරු 342ක් හමුවුණු මන්නාරම පැරණි ස.තො.ස. භූමියේයි.

🔰 – නමුත් දැන් සිරුරු 467ක් මතු කරගැනීමත් එක්ක, ලංකාවෙන් හමුවුණු විශාලතම සමූහ මිනී වළ බවට චෙම්මනි පත්වෙලා තියෙනවා.

🔰 – ජූලි 20 වෙනිදා සොයාගත්ත 429 වන ඇටසැකිල්ල කෙරෙහි හැමෝගෙම ලොකු අවධානයක් යොමු වුණා.

🔰 – හේතුව, ඒක සාමාන්‍ය විදිහට තිරස් අතට නෙමෙයි, “සෘජුව වාඩි වී සිටින” ඉරියව්වෙන් හමුවීමයි.

🔰 – පරීක්ෂකයෝ කියන විදිහට මෙහෙම වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙන්න පුළුවන්👇

🔷 – කෙනෙක් සිහිසුන්ව හෝ තුවාල ලබා සිටියදී පස් දානකොට, නැගී සිටින්න හදපු උත්සාහයක ප්‍රතිඵලයක් වීම.

🔷 – ඉතා පටු වළකට උඩ ඉඳන් පහළට අතහැරීම නිසා වාඩි වුණු ස්වභාවයක් ගැනීම.

🔷 – පටු ඉඩකඩක් තිබුණු වළකට දෙපා නමලා සිරුර තෙරපලා දා තිබීම.

🔰- දැනට මේ කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩොක්ටර් සෙල්ලයියා පිරනවන් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරනු ලබනවා.

🔰- අධිකරණ නියෝග අනුව හමුවුණු සියලුම අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය පිරනවන්ගේ භාරකාරත්වයේ තබලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *