මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවන බවටත්, ඉන් දෙදෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති බවටත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) බරපතළ චෝදනාවක් එල්ල කරයි.
මෙම මරණ හුදෙක් අහඹු සිදුවීම් නොවන බවත්, බන්ධනාගාර නිලධාරීන් විසින් සැලසුම්සහගතව සිදු කරන ලද දරුණු පළිගැනීමේ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත් එම කමිටුව සෘජුවම ප්‍රකාශ කර සිටී.
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා සහ එහි සභාපති නීතීඥ සේනක පෙරේරා යන මහත්වරුන් පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මුල් ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙකු (07) ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර දියත් වන බවයි.
දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින නිලධාරීන් කණ්ඩායම් එකතු වී, මීගමුවෙන් මාරු කර එවූ රැඳවියන් ඉලක්ක කර ගනිමින් ව්‍යූහාත්මක පළිගැනීමක් සිදුකරන බවට ඔවුහු චෝදනා කරති.
මීගමුවෙන් අඟුණකොළපැලැස්ස වෙත මාරු කර යැවූ රැඳවියෙකු රාත්‍රි 10.30 ට පමණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය තහවුරු කර ඇත.
ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.
වැලිකඩ වෙත මාරු කළ තවත් රැඳවියෙකුගේ සිරුර රාත්‍රි 11.00 ට පමණ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් ඇත.
🗣️”ඝාතනය සියදිවි හානිකර ගැනීමක් ලෙස පෙන්වන්න හදනවා!”
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බරපතළ සැකයක් මතු කරමින් කියා සිටින්නේ, වැලිකඩදී මියගිය රැඳවියාගේ මරණය “සියදිවි හානිකර ගැනීමක්” ලෙස හුවා දක්වා ඇත්ත වසන් කිරීමට බන්ධනාගාර බලධාරීන් දැඩි උත්සාහයක නිරත වන බවයි.
ලැබෙන නවතම වාර්තා අනුව, මීගමුවෙන් මාරු කර යැවූ සෙසු රැඳවියන් ද දැඩි කායික වදහිංසාවලට සහ මරණීය තර්ජනවලට ලක්වෙමින් සිටින බවට තොරතුරු අඛණ්ඩව ලැබෙමින් පවතී.
මෙම සැකකටයුතු මරණ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැනි ස්වාධීන අංශයක් මඟින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් රජයට බල කර සිටී.
මියගිය රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) ඉදිරියේ අද දින සිදු කිරීමට නියමිත අතර, එහිදී ඔවුන්ට පහර දී තිබේද යන්න නිවැරදිව අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරන්නේ, දැනට වෙනත් සිරගෙවල්වල රඳවා සිටින මීගමුවේ රැඳවියන් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් පියවර ගත යුතු බවයි.
වරදක් කර ඇත්නම් ඒ සඳහා නීත්‍යානුකූලව දඬුවම් පැමිණවීම අධිකරණයේ කාර්යයක් මිස, සිරගෙවල් ඇතුළත නීතිය අතට ගෙන රැඳවියන් ඝාතනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බව සිවිල් සංවිධාන පෙන්වා දෙයි