“ආහාර දුන් දෑතට මරණය උරුම වූ වගයි… සුදුකොඩි ලෙලදෙන වැලිකඩින් නික්ම යන නිසල වීරයෝ!”

මුළු වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයම අද උදෑසන ගිලී පැවතියේ මහා මූසල නිහඬතාවයකය.

සුදු කොඩි පෙළින් පෙළ ලෙළදෙද්දී, එදා තමන් සමඟ එකට රාජකාරි කළ, එකට සිනාසුණු සගයන්ගේ නිසල දේහයන් රැගත් රථ පෙරහැර බන්ධනාගාර භූමියට ඇතුළු වෙද්දී, එතැන රැස්ව සිටි සියලු දෙනාගේ දෑස් කඳුළින් තෙත් විය.

තමන්ගේම සහෝදර නිලධාරීන් වෙනුවෙන් වැලිකඩ අද හඬා වැටෙන්නේ, රාජකාරිය දේවත්වයෙන් සලකා ජීවිතයෙන් වන්දි ගෙවූ ඒ උදාර මිනිසුන්ට අවසන් ගෞරවය පුද කිරීම සඳහාය.

මෙම ගෞරව ප්‍රණාමයෙන් පසුව, සදහටම දෑස් පියාගත් ඒ ආදරණීය පුතුන්ගේ, සැමියන්ගේ සහ පියවරුන්ගේ දේහයන් බිඳුණු හදවත් ඇති ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත භාරදීමට නියමිතය.

පසුගිය 6 වනදා උදෑසන, මීගමුව බන්ධනාගාරයෙන් ඇසුණේ මුළු රටම කම්පා කළ ඛේදවාචකයකි.

සිරකරුවන් පිරිසකගේ අමානුෂික සහ කෲර ප්‍රහාර හමුවේ බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ තරුණ, කාර්යශූර නිලධාරීන් 7 දෙනෙකුට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය.

පෙරදින (5 වනදා) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සමථයකට පත් කර තිබූ පසුබිමක, ඉරිදා උදෑසන මේ නිලධාරීන් කටයුතු කළේ රැඳවියන්ගේ බඩගින්න නිවීම සඳහා ආහාරපාන ලබාදීමටය.

මිනිස්කම පෙරදැරි කරගෙන ඔවුන් ආහාර බෙදන්නට යද්දී, රැඳවියන් අතර නැවතත් ගැටුමක් හටගත්තේය.

එය බේරීමට ගිය නිලධාරියා වෙත කෲර ලෙස ගල්මුල් ප්‍රහාර එල්ල වන්නට විය.

එම අවස්ථාවේදී, බන්ධනාගාරයට අලුතින්ම පත්වීමක් ලබා පැමිණි ප්‍රධාන ජේලර්වරයාද තත්ත්වය පාලනය කිරීමට එතැනට දිව ආවේය.

එහෙත්, වියරු වැටුණු රැඳවියන් ඔහුටද අමානුෂික ලෙස පහර දෙන්නට වූ අතර, සෙසු නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් ඔහුව බේරාගැනීමට සමත් විය.

තත්ත්වය දරුණු අතට හැරෙද්දී, ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ වීරෝදාර නිලධාරීන් ඉදිරියට පැමිණියේ කලහකාරීන් පාලනය කිරීමටය.

එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ සිතාගත නොහැකි තරම් තිරිසන් ප්‍රහාරයකටය.

ඇතැම් නිලධාරීන් බිම වැටී සිටියදී පවා, ඔවුන්ගේ හිස් මතට විශාල ගල්ගෙඩි අතහැර දමා ඝාතනය කර තිබූ බව සැලවෙන්නේ මුළු මහත් මිනිස් සංහතියටම ලැජ්ජාවක් ඉතිරි කරමිනි.

ආහාර වේලක් දෙන්නට ගිය තමන්ගේම නිලධාරීන්ගේ ලේවලින් බන්ධනාගාර භූමිය තෙත් විය.

අවසානයේදී මේ බිහිසුණු ගැටුම නිමා වූයේ මිනිස් ජීවිත 27ක් සදහටම මෙලොවෙන් තුරන් කරමිනි.

තවත් සියයකට අධික පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල් ඇඳන් මත වේදනාවෙන් කෙඳිරිගාති.

රාජකාරිය අකුරටම ඉටු කරන්නට ගොස්, තිරිසන් මිනිසුන් අතින් මෙලොව හැරගිය ඒ නිලධාරීන් වෙනුවෙන් වැලිකඩ අද හඬා වැටෙයි. සොහොයුරනි, ඔබට නිවන් සුව!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *