සමාජයට ඔවුන් ‘කුඩුකාරයන්’ වුවත්, ඒ වැටෙන් එපිට ඉන්න අම්මලාට ඔවුන් ‘තමන්ගේම ලේ කිරි කර පොවපු දරුවන්’ ය!

මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටින් ඇසෙන මනුෂ්‍යත්වයේ මරහඬ!👇

🗣️ “මගේ පුතා රාජ්‍ය පාලනය යටතේ තියෙන බන්ධනාගාරයක් ඇතුළේ ඉද්දි එයාට මොකද වුණේ?”
“ඔයාලා ඔවුන්ව කොහාටද මේ හොර රහසේ අරගෙන යන්නේ?”
“කී දෙනෙක් මියගිහින් ද? රෝහල්ගත කරපු අයගේ විස්තර කෝ?”
“දෙයියන්ගේ නාමයට කියන්න… ඇයි අපිට අපේ දරුවන්ව බලන්න දෙන්නේ නැත්තේ…?”

මේ, වෙන කිසිවක් නිසා නොව, තම ලෙයින් උපන් දරුවා, සහෝදරයා, සැමියා ජීවතුන් අතර ඉන්නවාදැයි දැනගැනීමට මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වුණු දහස් සංඛ්‍යාත අසරණ ජනතාවක් දින දෙකක් තිස්සේ බලධාරීන්ගෙන් සහ රජයෙන් අසන මරණීය ප්‍රශ්න වැලයි!

කවුද මේ මිනිස්සු? කැරලිකාරයෝද?
නැහැ…! එතනට රැස්වුණු කිසිම කෙනෙක් ආණ්ඩුවට එරෙහිව කැරලි ගහන්නවත්, බන්ධනාගාරය කඩාගෙන ඇතුළට යන්නවත් ආපු සන්නද්ධ පිරිසක් නෙවෙයි.

ඔවුන්, තමන්ගේ දුරකථනවල තියෙන පින්තූර සහ සමාජ මාධ්‍යවල සංසරණය වන නාමලේඛන දෙස ගැහෙන හදවතින් යුතුව බලමින්, “අනේ මගේ දරුවාගේ නම විතරක් මෙතන තියෙන්න එපා” කියලා දෙවියන් යදිමින්, බිම වාඩි වී කඳුළු සලන අහිංසක අම්මලා, තාත්තලා සහ බිරින්දෑවරු. ඔවුන් සතුව තිබූ එකම ආයුධය කඳුළින් තෙත් වූ ජංගම දුරකථනයක් සහ අත් බෑගයක් පමණයි! 💬

බන්ධනාගාරය ඇතුළේ ඉන්න මිනිස්සුන්ට සමාජය ‘කුඩුකාරයෝ’ හෝ ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්’ කියන දරුණු ලේබලය ගහලා තිබෙන්නට පුළුවන. නමුත්, ඒ යකඩ කම්බි වැටෙන් පිටත පාරේ දින ගණන් අව්වේ වේලෙන ඥාතීන්ට ඔවුන් ‘තාත්තා, මල්ලි, අයියා, පුතා’ වැනි තමන්ගේම ලේ නෑයන්ය. ලේබල්වලට වඩා ලේ නෑකම් බලවත්ය!

නමුත්… ඒ අසීමිත ආදරයට සහ දරාගත නොහැකි වේදනාවට ප්‍රතිචාර ලෙස බලධාරීන් සහ රජය අවසානය දක්වාම ඔවුන්ට පෙන්නුවේ මොනවාද? තුවක්කු කටවල්, මාරාන්තික අවිආයුධ සහ සන්නද්ධ හමුදා බලකායන් පමණයි!

නිවැරදි තොරතුරු සන්නිවේදනය නොකර, මියගිය සහ තුවාල ලැබූවන්ගේ ලේඛන වසා තබමින් රජය උත්සාහ කරන්නේ කුමක්ද? තොරතුරු දැනගැනීමේ අයිතිය අහුරා මහජනතාව දැඩි බිය ගැන්වීමකට ලක් කිරීමයි.

අනෙක් අතට, සමාජ මාධ්‍ය හරහා බන්ධනාගාරගතව සිටින සියලුම දෙනා ‘අපරාධකරුවන්’ බවත්, ‘ඔවුන්ව මරා දැමිය යුතුයි’ කියාත් පවසමින් අසික්කිත මත ප්‍රචාරය වෙමින් පවතිනවා. මෙය ඉතාමත් ලැජ්ජා සහගත, මනුෂ්‍යත්වයට නිගා දෙන ම්ලේච්ඡ ක්‍රියාවක් නොවේද?

අවසාන වශයෙන්, කෙනෙක් වැරදිකරුද නිවැරදිකරුද යන්න තීරණය කරන්න අධිකරණයක් මිස, තුවක්කු අතැති බලධාරීන් කවුද?

තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක්, ඔහු වැරදිකරුවෙකු වුවද, නීති විරෝධී ලෙස උදුරාගන්න අනෙක් මනුෂ්‍යයාට අයිතිය දුන්නේ කවුද?

මතක තබාගන්න: මියගිය නිලධාරීන්ට මෙන්ම, මියගිය රැඳවියන්ටද ගෞරවාන්විතව ජීවත් වීමට සහ යුක්තිය ලැබීමට සමාන අයිතියක් තිබෙනවා. එය බන්ධනාගාරය ඇතුළත වුවත්, පිටත වුවත් වෙනසක් නැත! මනුෂ්‍යත්වය සැමට පොදුය! ✊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *