ජංගම දුරකථන ක්ෂේත්රයේ සමස්ත සන්නිවේදන රටාවම උඩුයටිකුරු කරන්න ඉලොන් මස්ක් (Elon Musk) ඇතුළු ස්පේස්එක්ස් (SpaceX) සමාගම සූදානම් වන බවට අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. ඒ, කිසිදු විශේෂ උපාංගයක් හෝ සිම් පතක් වෙනස් කිරීමකින් තොරව, අප එදිනෙදා භාවිත කරන සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථන සෘජුවම අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා සමඟ සම්බන්ධ කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් හරහායි.
ජපන් නිකේයි (Nikkei) පුවත්පතට අනුව, “ස්ටාර්ලින්ක් මොබයිල්” (Starlink Mobile) ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය මඟින් ලෝකයේ කුමන මුල්ලක සිටියත් අන්තර්ජාල පහසුකම්, හඬ ඇමතුම් සහ කෙටි පණිවිඩ (SMS) සේවා ලබා ගැනීමට මින් ඉදිරියට අවස්ථාව ලැබෙනු ඇත.
වත්මන් ජංගම දුරකථන සන්නිවේදනය මුළුමනින්ම රඳා පවතින්නේ ගොඩබිම ඉදිකර ඇති දුරකථන කුළුණු (Cell Towers) සහ ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධති මතයි. මේ නිසා කඳුකර, වනාන්තර හෝ සාගර කලාපවලදී සංඥා (Signals) බිඳවැටීම් බහුලව සිදු වේ.
නමුත් ස්පේස්එක්ස් සමාගම හඳුන්වා දෙන “Direct to Cell” තාක්ෂණය මඟින් සිදුවන්නේ අහස පෙනෙන ඕනෑම ස්ථානයක සිට සෘජුවම අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා සමඟ දුරකථනය සම්බන්ධ වීමයි. මේ සඳහා දැනටමත් පෘථිවියේ සිට කිලෝමීටර් 550ක් ඉහළ පහළ කක්ෂයේ කුඩා චන්ද්‍රිකා 10,000කට වඩා ස්ථාපනය කර ඇති අතර, එය 40,000ක් දක්වා පුළුල් කිරීම මස්ක්ගේ ඉලක්කයයි.
මෙම දැවැන්ත මෙහෙයුම වෙනුවෙන් ඇමරිකානු එකෝස්ටාර් (EchoStar) සමාගම සතු රැහැන් රහිත සංඛ්‍යාත කලාප (2-4 GHz S-band) අත්පත් කර ගැනීමට ස්පේස්එක්ස් සමාගම ඩොලර් බිලියන 17ක් ආයෝජනය කර තිබීම ද විශේෂත්වයකි.
මීට පෙර මස්ක් විසින් කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන “ටෙස්ලාෆෝන්” (Teslafone) නමින් අලුත්ම ස්මාර්ට් ජංගම උපාංගයක් නිපදවනු ඇතැයි කටකතා පැතිරුණද, දැන් ඔවුන්ගේ සැබෑ අවධානය යොමු වී ඇත්තේ පවතින ජංගම දුරකථන ජාල ශක්තිමත් කිරීමට සැටලයිට් තාක්ෂණය යොදා ගැනීමටයි.
ප්රමුඛ ආයෝජන බැංකුවක් වන ටීඩී කොවන් (TD Cowen) පෙන්වා දෙන්නේ, සාම්ප්‍රදායික විදුලි සංදේශ සමාගම්වලට ඉදිරියේදී ස්ටාර්ලින්ක් සමඟ දැඩි තරඟයකට මුහුණ දීමට සිදුවන බවයි. දැනටමත් ස්ටාර්ලින්ක් සතු ගෝලීය පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 12 ඉක්මවන අතර එහි ලාභ ප්‍රතිශතය 63% ත් 65% ත් අතර ඉහළ අගයක පවතී. ඉදිරියේදී මෙම ස්ටාර්ලින්ක් මොබයිල් සේවාවේ විභව වෙළඳපොළ ප්‍රමාණය ඩොලර් බිලියන 740ක් දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
විද්වතුන් පවසන පරිදි, මෙම සේවාවෙන් ලැබෙන අතිදැවැන්ත ආදායම ඉලොන් මස්ක් විසින් “අඟහරු ලෝකය ජනාවාස කිරීමේ” (Colonizing Mars) ඔහුගේ දිගුකාලීන සිහිනය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට භාවිත කරනු ඇත.
ඉලොන් මස්ක්ගේ මෙම වේගවත් ප්රවේශයත් සමඟ අනෙකුත් අභ්‍යවකාශ සමාගම් ද මෙයට අභියෝග කිරීමට ලෑස්ති වේ. ඒ අනුව ඇමරිකානු රොකට් ලැබ් (Rocket Lab) සමාගම, ඉරිඩියම් (Iridium) සන්නිවේදන සමාගම අත්පත් කර ගනිමින් තමන්ගේම චන්ද්‍රිකා සන්නිවේදන සේවාවක් අරඹන්නට කටයුතු කරමින් සිටී.
කෙසේ වෙතත්, සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමවලට වඩා සැටලයිට් ක්රමයේ ඇති වාසිය නම්, 4G හෝ 5G වැනි සෑම නව ජංගම දුරකථන පරම්පරාවක් පාසාම ගොඩබිම් යටිතල පහසුකම් (කුළුණු) වෙනස් කිරීමට අවශ්‍ය නොවීමයි. මූලික චන්ද්‍රිකා දියත් කිරීමෙන් පසු ගොඩබිම් නඩත්තු පිරිවැය ශුන්‍යයට ආසන්න වන බැවින්, පාරිභෝගිකයාට ඉතා අඩු පිරිවැයකින් මෙම සේවාව ලබා දීමට හැකිවනු ඇත.