2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටයේදී බෙල්ජියම සමඟ මුහුණ දීමට සූදානම් වන ඇමරිකානු කණ්ඩායමට මෙතෙක් තිබූ ලොකුම හිසරදයට දැන් නිල වශයෙන් විසඳුමක් ලැබී තිබෙනවා.
“බලෝගුන් වෙනුවට ක්‍රීඩා කරන්නේ කවුද?” – පසුගිය දින කිහිපයේම ඇමරිකානු පාපන්දු ලෝලීන් අතර තිබුණේ මේ ප්රශ්නයයි. නමුත් තරගයට තට්ටු එකක් තබා, ඉරිදා දිනයේදී FIFA විනය කමිටුව ගත් අනපේක්ෂිත තීරණයක් නිසා දැන් ඒ ප්රශ්නය අතීතයට එකතු වී තිබෙනවා. ඒ අනුව සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ෆොලරින් බලෝගුන් (Folarin Balogun) හට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමට FIFA කටයුතු කර තිබෙනවා!
රතු කාඩ්පත සහ FIFA හි හදිසි තීරණය
32 දෙනාගේ වටයේදී බොස්නියා-හර්සගොවිනා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ 64 වැනි මිනිත්තුවේදී ප්‍රතිවාදී ක්‍රීඩක තාරික් මුහමරොවිච්ගේ පාදය මත බලෝගුන්ගේ පාදය වැදීම හේතුවෙන් ඔහුට රතු කාඩ්පතක් හිමි වුණා. සාමාන්‍යයෙන් රතු කාඩ්පතක් ලැබුණු පසු ඊළඟ තරගය තහනම් වන අතර, ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් නැහැ.
නමුත් FIFA විනය කමිටුව සිය රෙගුලාසිවල ඇති විශේෂ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම තහනම වසරක “පරිවාස කාලයකට” (Probationary period) යටත් කර අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
FIFA නිල නිවේදනයේ සඳහන් වූයේ මෙලෙසයි:
“FIFA විනය සංග්‍රහයේ 27 වැනි වගන්තියට අනුව, මෙම තරග තහනම වසරක පරිවාස කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළ බලෝගුන් විසින් මෙවැනිම ආකාරයේ බරපතල වරදක් නැවත සිදු කළහොත්, මෙම තහනම වහාම ක්‍රියාත්මක වන අතර නව වරද සඳහාද අමතර දඬුවම් පැනවිය හැක.”
මීට පෙර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට 2025 වසරේදී අයර්ලන්තයට එරෙහි තරගයකදී එල්ල වූ තරග 3ක තහනම මෙලෙසම අත්හිටුවා, ඔහුට 2026 ලෝක කුසලාන ආරම්භක තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.
ඇමරිකානු කඳවුරේ සතුට
මෙම තීරණයත් සමඟ නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු පාපන්දු සංගමය (U.S. Soccer) කියා සිටියේ, “අපි FIFA විනය කමිටුවේ තීරණය පිළිගන්නවා වගේම බලෝගුන්ට හෙට තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙනවා. අපේ සම්පූර්ණ අවධානය දැන් සියැටල් (Seattle) හිදී බෙල්ජියම සමඟ පැවැත්වෙන තරගයටයි,” යනුවෙනි.
“කහ කාඩ්පතක් දුන්නා නම් සාධාරණයි” – බලෝගුන් කියයි
රතු කාඩ්පත දුන් අවස්ථාවේදී පවා කලබල නොවී බ්‍රසීල ජාතික විනිසුරු රෆායෙල් ක්ලවුස් සමඟ අතට අත දී පිටියෙන් ඉවත් වූ බලෝගුන්, පසුව කියා සිටියේ එම තීරණය අසාධාරණ බවයි.
“ඔයාලා හැමෝම දකින්න ඇති, එතන මට කකුල තියන්න වෙන තැනක් තිබුණේ නැහැ. ඒ ගැටීම වළක්වන්න බැහැ. මගේ අදහස නම් එතනට කහ කාඩ්පතක් දුන්නා නම් සාධාරණයි,” යනුවෙන් බලෝගුන් පුහුණු සැසියක් අතරතුර පවසා තිබුණා.
ඇමරිකාවේ “ට්‍රම්ප් කාඩ් එක” බලෝගුන්
නිව්යෝර්ක් හි උපත ලබා, ලන්ඩන් නුවර හැදී වැඩුණු මේ 25 හැවිරිදි සුපිරි තරුව මෙවර මව්බිමේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ඇමරිකානු බලාපොරොත්තුවයි. පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල ද්විත්වයක් (Double) සහ බොස්නියාවට එරෙහිවද ගෝලයක් ලබාගැනීමට ඔහු සමත් වුණා. (බොස්නියා තරගයේදී ඔහු තවත් ගෝල දෙකක් වාර්තා කළද ඒවා ‘VARS’ තාක්ෂණය ඔස්සේ අවලංගු කෙරුණා).
ප්‍රතිවාදී ආරක්ෂක වළලු බිඳගෙන, අනෙක් ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමඟ මනාව පන්දුව හුවමාරු කරමින් ගෝල රැස්කිරීමේ අපූර්ව හැකියාවක් බලෝගුන් සතුයි. එම නිසා හෙට පැවැත්වෙන බෙල්ජියම් මහා සංග්‍රාමයට බලෝගුන්ගේ පැමිණීම ඇමරිකානු කණ්ඩායමට “රන් කිරි” කැවීමක් වනු නොඅනුමානයි!