වත්මන් රජය බලයට පැමිණියේ දරාගත නොහැකි ලෙස බොරු ප්‍රකාශ කරමින් බවත්, බලයට පැමිණීමෙන් පසුවද දිගින් දිගටම බොරු කියමින් බලයේ රැඳී සිටින ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
සියලුම දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් ජනතාව අද වන විට එකම ස්ථානයකට රොද බැඳ සිටින්නේ වත්මන් පාලනය කෙරෙහි පවතින බලාපොරොත්තු කඩා වැටීම නිසා බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට දැන් මර්දනය දියත් කරමින් සිටින බවට චෝදනා කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.👇
🗣️- “අද හැම පක්ෂෙකම ඡන්දෙ දීපු අය මෙතන ඉන්නවා.
ආණ්ඩුවක් පත් කරගත්ත මේ රටේ බහුතරයක් ජනතාව බලාපොරොත්තු ඇතිව අද අසීමිතව බොරු කියලා බලයට ආපු ආණ්ඩුවක්, බොරු කියලා බලයට ආවා විතරක් නෙමෙයි, බොරු කියලා බලයේ ඉන්න ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා.
අපි දැක්කා පහුගිය දිනවල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිල්ලා අපි බලාපොරොත්තු වුණේ ජීවන වියදම අඩුකිරීම ගැන කතා කරයි කියලා. ගොවියාගේ පොහොර ප්රශ්නය කතා කරයි කියලා.
වී මිල පිළිබඳව කතා කරයි කියලා.
කර්මාන්ත ශාලා වහනවා, මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියන වැඩපිළිවෙල ගැන කතා කරයි කියලා.”
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු භූමිකාව දැඩි විවේචනයට ලක් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා ප්‍රශ්න කතා කරනු වෙනුවට ජනාධිපතිවරයා පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ රාජකාරිය කිරීමට පටන්ගෙන ඇති බවයි.
🗣️ “නැහැ… ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ හාමුදුරුවනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ කරනවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක… ඒ මනුස්සයා කල්පනා කරනවා ඇති දැන් ඒ මනුස්සයා ප්‍රෙස් එකේ වාඩිවෙලා මොකක්ද කියන්නේ කියලා.
කමක් නැහැ… ආණ්ඩුවට වැඩ බැරි නම්, ආණ්ඩුවට වැඩ බැරිවෙන කොට ආණ්ඩුව මොකක්ද කරන්නේ? තමන්ගේ නොහැකියාව වහගන්න මර්දනය කරනවා.”
රට තුළ සිදුවී ඇති විවිධ වංචා සහ දූෂණ සෙවීම පිළිබඳව තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත්, ඒවා අනිවාර්යයෙන්ම සෙවිය යුතු බවත් පැවසූ රාජපක්ෂ මහතා, එහෙත් ඒ අතරතුර ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්නවලටද ආණ්ඩුව පිළිතුරු දිය යුතු බව අවධාරණය කළේය.
🗣️ “පරීක්ෂණ කටයුතු කරන්න එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. කරන්න ඕනේ.
බාල ගල්අඟුරු නැව් ගැනත් හොයන්න ඕනේ.
ලෝකේ වැඩිම මිලක් දීලා තෙල් ගත්තේ ඇයි කියලා හොයන්නත් ඕනේ.
හාල් පිටරටින් ගෙනල්ලා ගොවියාගේ වී කපෙනකොට, ඒ පිටරටින් ගෙන්නන්න හේතුව මොකක්ද කියලා හොයන්න ඕනේ. වරායෙන් පන්නපු කන්ටේනර් 23 හොයන්න ඕනේ.
ඒවා හොයන්න ඕනේ.
හැබැයි ඒවා හොයන ගමන් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න ඕනේ.
ආණ්ඩුවේ මොකක්ද වැඩපිළිවෙල රටේ ජනතාවගේ ජීවන වියදම දරාගන්න පුළුවන් තැනකට ගේන්න?”
රටේ පවතින උද්ධමනය සහ බඩු මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී ඇති ආකාරය පිළිබඳව මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.👇
🗣️ “තමන්ගේ බාල ගල්අඟුරු නිසා, වැඩි මිලට ගත්තු තෙල් නිසා, දිනෙන් දින විදුලි බිල වැඩි වෙනවා.
පැට්රල්, ඩීසල් මිල වැඩිවෙනවා.
අපේ හාමුදුරුවනේ දරා ගන්න බැහැ ජනතාවට.
ආහාරවල මිල දිනෙන් දින ඉහළ යනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යනවා.
හැබැයි මේවට සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ.
දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන එක.”
එමෙන්ම රජය විසින් රාජ්‍ය සේවකයන්ට සහන පදනම මත ලබාදීමට සූදානම් වන සහල් කිලෝ 20 පිළිබඳවද මන්ත්‍රීවරයා උපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේය.
🗣️ “දැන් අපේ හාමුදුරුවනේ, නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ.
හැබැයි ඉතින් මෙයාලට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි අපි පොඩි කාලේ.
මේ වැඩිහිටියෝ දන්නවා නේ? කොහෙන් හරි එතනට තමයි පනින්නේ ආයේ.”
වත්මන් පාලකයන් අතීතයේ ක්‍රියා කළ ප්‍රචණ්ඩකාරී ස්වරූපය නැවත වරක් ඉස්මතු වෙමින් පවතින බව පවසමින් නාමල් රාජපක්ෂ සිය කතාව අවසන් කළේය.