“නිවන් සුව ලැබේවා දීනේෂ්! ඔබ අපෙන් සමුගත්තේ ප්‍රශ්න වැලක් සහ දරාගත නොහැකි මහා පශ්චාත්තාපයක් ඉතිරි කරමිනි.”

තවත් අකල් වියෝවක්… තවත් අම්මා කෙනෙකුගේ මුළු ලෝකයක්ම සදහටම අඳුරු වී, ඇගේ හදවත කැබලිවලට බිඳී ගිය අවාසනාවන්ත දවසක්.

දීනේෂ් විජේවර්ධන… නුපුරුදු දේශයක, හුරුපුරුදු නැති සීතලක තනිවෙලා, තමන්ගේත් තමන්ගේ පවුලේත් හීන දිනවන්න දහඩිය මුතු වැගිරවූ තරුණයෙක්.

ඒත්… මුළු මහත් සමාජයක්ම කම්පනයට පත් කරමින්, ලේසියෙන් අමතක කළ නොහැකි ඒ අවාසනාවන්ත Facebook Live වීඩියෝව සමඟ ඔහු අපෙන් සදහටම සමුගෙන ගොස් අවසන්.

ඇත්තටම අපි දන්නේ නැහැ ඔහුගේ හදවත ඇතුළේ මොන තරම් ගින්නක් ඇවිලෙන්න ඇද්ද කියලා.

ජීවිතයේ මොන තරම් බරක්, දරාගන්න බැරි පීඩනයක්, කියාගන්න බැරි වේදනාවක් ඔහුගේ හිතේ තෙරපෙන්න ඇද්ද කියලා දන්නේ ඔහුම විතරයි.

ඒ නිසා, කිසිවක් නොදැන ඔහුව විනිශ්චය කරන්න එපා! ඒ වෙනුවට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔහු දෙස අනුකම්පාවෙන් බලන්න.

සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ සැමගෙන් කරන ඉතාමත් බැගෑපත් ඉල්ලීමක් තිබෙනවා.

මේ වගේ අවාසනාවන්ත, බියගුලු තීරණ සමාජ මාධ්‍ය ඇතුළේ “Trend” එකක් හරි, රැල්ලක් හරි බවට පත් කරන්න ඉඩ දෙන්න එපා!

ප්‍රශ්න හමුවේ ජීවිතය දමා යාම වීරකමක් නෙවෙයි.

ඒ වගේම ඔබ ළඟ මේ සිදුවීමට අදාළ Facebook Live වීඩියෝව, ඡායාරූප හෝ වෙනත් ඕනෑම සංවේදී දර්ශනයක් තිබෙනවා නම්, කරුණාකර ඒවා තවදුරටත් Share කරන්න එපා.

එකම එක තත්පරයකට හිතලා බලන්න… ඒ දර්ශන සමාජ මාධ්‍ය පුරා නැවත නැවත කැරකෙන හැම වතාවකම, ඒ අසරණ අම්මාගේ, තාත්තාගේ සහ සහෝදර සහෝදරියන්ගේ පපුව පලාගෙන යන වේදනාව අලුත් වෙනවා.

ඔවුන්ගේ කඳුළු හමුවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒ දර්ශන එතැනින් නැවතීමයි.

අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැම හදවතක්ම ජීවත් වෙන්නේ කාටවත් නොපෙනෙන නිහඬ සටනක්, බලාපොරොත්තු කඩවීම් හෝ දරාගත නොහැකි පීඩනයක් අස්සේ වෙන්න පුළුවන්.

හැබැයි… දරාගන්නම බැරි, ජීවිතය එපාම වුණු මොහොතක් ආවොත්, කරුණාකරලා මෙවැනි බියගුලු තීරණ තනියම ගන්න එපා.

ඔබට මොනම හෝ ප්‍රශ්නයක්, පීඩනයක් හෝ මානසික බිඳ වැටීමක් තියෙනවා නම්, කරුණාකරලා ඒ ගැන ඔබේ හොඳම මිතුරන්, පවුලේ අය සමඟ හෝ වෘත්තීය උපදේශන සේවාවක් (Counseling) සමඟ විවෘතව සාකච්ඡා කරන්න.

ඔබේ හිතේ තියෙන බර කාට හරි කියන්න.

හදවතින්ම මතක තියාගන්න.. ඔබ මේ ලෝකයෙන් සදහටම සමුගත්තොත්, ලෝකය වෙනදා වගේම ඉදිරියට යාවි.
සමාජ මාධ්‍යයට ඒක දවස් කිහිපයක ප්‍රවෘත්තියක්, තවත් සමහරුන්ට Reach එකක් හෝ View එකක් විතරක්ම වේවි.

හැබැයි… ඔබ එනකල් මඟ බලාගෙන ඉන්න, ඔබට පණටත් වඩා ආදරය කරන අම්මාට, තාත්තාට සහ ඔබේ පවුලේ අයට ඒ වේදනාව මුළු ජීවිත කාලෙටම ගෙවා ඉවර කරන්න බැරි මහා ශාපයක් වේවි.

දීනේෂ් විජේවර්ධන සහෝදරයාට නිවන් සුව අත්වේවා!

මේ ලෝකයේ කිසිම අම්මා කෙනෙකුට, කිසිම පවුලකට මෙවැනි අකල් වියෝවක දරුණු වේදනාව නැවත කිසිදා අත්විඳීමට සිදු නොවේවා!

📞 ඔබට උදව් අවශ්‍ය ඕනෑම මොහොතක කතා කරන්න:
CCCline – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 070 7308308

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (Mental Health Counseling) – 1926

Leave a Reply

Your email address will not be published. Required fields are marked *