යෝෂිත හා යසාරා අබේනායකගේ මන්දිරයේ සුලමුල අධිකරණයේදී හෙළිවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, නාවික හමුදා හිටපු නිලධාරී යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ තීරණාත්මක සාක්ෂි රැසක් 09 වනදා කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය විය.

දේශපාලන බලය, අතිවිශාල ධනස්කන්ධයන් සහ අභිරහස් ගනුදෙනු එකිනෙක ගැටගැසුණු මෙම නඩු විභාගයේදී සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් සැඟවුණු කරුණු රැසක් රට හමුවේ තැබීය.

🗣️ “ඔහු නාවික හමුදාවේ සිටියදීම ඒ දැවැන්ත මන්දිරය හැදුවා” – යසාරා අබේනායක

නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වූ යසාරා අබේනායක අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළාය.

දෙහිවල මිහිඳු මාවතේ පිහිටි, මෙම නඩුවට පාදක වී ඇති නිවස තමන් හොඳින්ම හඳුනන බව ඇය පැවසුවාය.

තමන් සහ යෝෂිත රාජපක්ෂ විවාහ වී පදිංචි වීමට සැලසුම් කර තිබුණේ මෙම නිවසේ බව ඇය එහිදී කියා ඇත.

එම නිවස වෙනත් අයෙකුගේ නොව, යෝෂිත රාජපක්ෂ විසින්ම තමන්ගේ මැදිහත්වීමෙන් ඉදිකරන ලද්දක් බව ඇය ස්ථිරවම ප්‍රකාශ කළාය.

නිවස ඉදිකරන සමයේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙකු ලෙස සේවය කරමින් ‘CSN’ නාලිකාවේ කටයුතුවලට ද දායකත්වය සපයා ඇත.

ආරක්ෂක අංශ නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ ඇය තහවුරු කළේ, මෙම නිවස කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත අතිදැවැන්ත මන්දිරයක් බවයි.

ඉඩමේ මුල් හිමිකරු වූ ලූෂන් රත්නායක සාක්ෂියත් සමඟ නඩුව වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගත්තේය.

රත්මලාන කෙකටිය පාරේ පිහිටි පර්චස් 31ක සිය වටිනා ඉඩම විකිණීමේදී සිදුවූ අමුතුම සිදුවීම් මාලාවක් ඔහු මෙහිදී විස්තර කළේය.

ඔහු ඉඩම විකිණීම සිය හිතවතෙකු වූ වසන්ත කුමාර වෙත පවරා තිබූ අතර, ගැනුම්කරු කවුදැයි අවසන් මොහොත වනතුරුත් ඔහුට දන්වා තිබුණේ නැත.

අවසානයේ රුපියල් මිලියන 34.5ක දැවැන්ත මුදලකට රාජගිරිය ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී ගිවිසුම් අත්සන් කෙරුණි.

තමන්ගේ ගිණුමට මුදල් ලැබුණු පසු ඔප්පුවට අත්සන් තැබූ බව පැවසූ ලූෂන් මහතා, මුදල් ගෙවූ සැබෑ පුද්ගලයා කවුදැයි තමන් නොදන්නා නමුත්, ඔප්පුවේ ගැනුම්කරු ලෙස සටහන් කර තිබුණේ ‘ඩේසි ෆොරස්ට්’ නැමැති කාන්තාවකගේ නමක් බව හෙළි කළේය.

එසේම, මෙම ගනුදෙනුවට වසර දෙකකට පෙර සිය නිවසේ පැවැති භාණ්ඩ අලෙවියක් එනම් Garage sale එකක් අතරතුර, යෝෂිත රාජපක්ෂ සිය පෙම්වතිය සමඟ පැමිණ මෙම ඉඩම පරීක්ෂා කර තිබූ බවද ඔහු මතක් කළේය.

මෙම අභිරහස් ගනුදෙනුවේ සුලමුල සම්පූර්ණයෙන්ම අනාවරණය කළේ තෙවැනි සාක්ෂිකරු වූ වසන්ත කුමාර ජයසූරිය මහතාය.

යසාරාගේ ඥාතියෙකු වන ඔහු, යෝෂිත රාජපක්ෂ කෙලින්ම තමන් සමඟ සාකච්ඡා කර මෙම ඉඩම මිලදී ගැනීමට එකඟ වූ බව පිළිගත්තේය.

බැංකුව තුළ සිදුවූ දේ ඔහු විස්තර කළේ දැඩි අවධානයක් දිනාගනිමිනි.

රාජගිරිය බැංකුවේදී ඔප්පු අත්සන් කරන අවස්ථාවේදී, ඉඩම මිලදී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් මිලියන 34.5 ක අතිවිශාල මුදල විශේෂිත බෑග්වල බහාගෙන බැංකුව තුළට රැගෙන විත් තිබුණේ සාමාන්‍ය පුද්ගලයන් නොව, ආරක්ෂකයින් (බොඩිගාඩ්ලා) වැනි පෙනුමක් ඇති සන්නද්ධ පිරිසක් විසිනි.

🔴 – රජයේ ඉහළම තනතුරු දැරූ පවුලක සාමාජිකයෙකු, රාජ්‍ය ආරක්ෂක අංශ නිලධාරියෙකුව සිටියදී, වෙනත් අයෙකුගේ නමකින් සහ ආරක්ෂකයින් ලවා රැගෙන ආ අතිවිශාල මුදල් මඟින් මිලියන ගණනක දේපළ මිලදී ගැනීම පිටුපස ඇති සැබෑ රහස කුමක්ද? මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවරූ මෙම නඩුව හරහා මෙරට දේශපාලන බලය සහ අඳුරු මූල්‍ය ගනුදෙනු අතර ඇති සබඳතාවය නීතිය හමුවේ තීරණාත්මක ලෙස විභාග වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *