🔰- ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා ගේද්දි රුපියල් මිලියන 100ක අල්ලසක් ගත්තැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව ලබන 29 වෙනිදා වෙනකම් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේම තියන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.
🔰- මන්ත්‍රීතුමාගේ ඇප ඉල්ලීමේ තීන්දුවත් එදාටම කියන්නයි උසාවිය තීරණය කළේ.
🔰- මේ ඇප ඉල්ලීමට අදාළව විත්තියේ ලිඛිත දේශන 22 වෙනිදාත්, පැමිණිල්ලේ දේශන 25 වෙනිදාත් බාරදෙන්න කියලා මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.
🔰- අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැයක් විතර කරපු දීර්ඝ තර්ක විතර්කවලින් පස්සේ තමයි උසාවිය මෙහෙම තීන්දු කළේ.
🔰- නඩුව කැඳවපු වෙලාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කිව්වේ, මේ චෝදනාවට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේත් පරීක්ෂණ යන නිසා අල්ලස් කොමිසමයි CID එකයි එකතු වෙලාම වැඩේ කෙරීගෙන යන බවයි.
🔰- 2012 ඉඳන් දිවෙන මේ නඩුවේ පළමු සැකකරු වුණු කපිල චන්ද්‍රසේන මහතා මේ වෙනකොට මියගිහින්.
🔰- හැබැයි දෙවැනි සැකකාරිය වෙන ප්‍රියංකා නියෝමාලි ඕස්ට්‍රේලියාවටත්, තුන්වැනි සැකකරු වෙන ශමින්ද්‍ර රාජපක්ෂ ඇමරිකාවටත් ‘මාරු වෙලා’ ඉවරයි.
🔰- දැන් ඉතින් ඉන්ටර්පෝල් හරහා රෙඩ් නොටීස් අරන් ඒ අයව ගෙන්නගන්නයි, නීතිපති හරහා අධිචෝදනා පත්‍ර හදන්නයි වැඩ කටයුතු ලෑස්ති වෙනවලු.
🔰- තව දුරටත් පරීක්ෂණ ගැන කියමින් ඔහු කිව්වේ, කතානායක නිල නිවසේදී ශ්‍රීලංකන් එකේ බෝඩ් මීටින් තිබ්බ හැටියි, ශමින්ද්‍ර රාජපක්ෂ රටින් පැන්න විදිහයි ගැන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙනුත් කටඋත්තර අරන් තියෙන බවයි.
🔰- දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ සහතිකයක් දීලා තියෙන නිසා ඇප දෙන්න වෙන්නේ ‘සුවිශේෂී හේතු’ තිබුණොත් විතරක් බවත්, කලින් කියපු කිසිම හේතුවක් සුවිශේෂී නැති බව උසාවිය තීන්දු කරලා තියෙන බවත් පැමිණිල්ල මතක් කරලා දුන්නා.
🔰- කොහොම වුණත්, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නම් ඇප ගන්න නියම හේතු ටිකක් ඉදිරිපත් කළා.
🔰- එයාර්බස් ගනුදෙනුවේ ජාත්‍යන්තර රිපෝට්වල තමන්ගේ සේවාදායකයාගේ නම කොහෙත්ම නැති බවත්, නිමල් පෙරේරා කියපු ‘පට්ටපල් බොරු’ හින්දා තමයි එයාට ඇතුළට යන්න වුණේ කියලත් නීතිඥ මහතා කිව්වා.
🔰- ඒ මදිවට මේ අත්අඩංගුවට ගැනීම නිසා මන්ත්‍රීතුමාට ලැබිලා තිබ්බ ඉන්දීය රජයේ නිල ආරාධනා සංචාරයත් අහිමි වුණාලු!
🔰- ඒ විතරක්ද, සැප්තැම්බර් 26 වෙනිදා හිඟුරක්ගොඩ පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැරේදී රෑ 7.42ට යෙදෙන නැකතින් පන්සලක කොත තැන්පත් කරන්නත් මන්ත්‍රීතුමාට ආරාධනාවක් ඇවිත් තියෙන නිසා, ඒ ‘මහා පුණ්‍යකර්මය’ වෙනුවෙන් හරි ඇප දෙන්න කියලා ජනාධිපති නීතිඥවරයා උසාවියෙන් ගෞරවයෙන් ඉල්ලුවා.
🔰- ඒකට උත්තරයක් දුන්න නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා, අධම්ම සූත්‍රයත් මතක් කරලා දෙමින් කිව්වේ ඉන්දියාවේ යන එකයි, පෙරහැරවල්වල කොත් තැන්පත් කරන්න යන එකයි ඇප දෙන්න තරම් ‘සුවිශේෂී හේතු’ නෙවෙයි කියලයි.
🔰- ඒ විතරක් නෙවෙයි, “වැලිගම බේ” කතාවේදී නිමල් පෙරේරාගේ එකවුන්ට් එකකට රුපියල් මිලියන 175කට වඩා සැකසහිත විදිහට ඇවිත් තියෙන බව හෙළි වෙලා තියෙන නිසා, මේ වෙලාවේ කොත තැන්පත් කරන්න ඇප දෙනවා තබා සුවිශේෂී කරුණක් විදිහට සලකන්නවත් කිසිම පදනමක් නැහැ කියලා පැමිණිල්ල උසාවියට කෙලින්ම දැනුම් දුන්නා.