පාස්කු ඉරුදින සිදුවුණු ඛේදනීය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කරලා තියෙන දැවැන්ත නඩුවේ ප්‍රධාන විත්තිකරු වෙන නවුෆර් මවුලවි (මොහොම්මදු ඉබ්රහීම් මොහොම්මදු නව්ෆර්) ඊයේ (17) කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවේ සිට පැය දෙකකට ආසන්න කාලයක් තමන්ගේ විත්ති වාචකය ඉදිරිපත් කළා.
ඔහු කෙළින්ම කියන්නේ, “මං ත්‍රස්තවාදයවත්, අන්තවාදයවත් පැතිරෙව්වේ නැහැ. පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කළා කියන්න මට විරුද්ධව එකම එක සාක්ෂියක්වත් නෑ!” කියලයි.
නීතිපතිවරයා විසින් චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කරපු මේ නඩුව විභාග වෙන්නේ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක කියන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ. පැමිණිල්ලේ සාක්ෂි ඉවර වුණාට පස්සේ, විත්තියේ වාචකයන් සටහන් කරගැනීම ආරම්භ කළේ පළමු විත්තිකරු වෙන නවුෆර් මවුලවිගෙන්.
“මගේ ඇඟට දාපු චෝදනා 940ම මං ප්‍රතික්ෂේප කරනවා!”
විත්ති කූඩුවේ සිට අදහස් දක්වපු නවුෆර් මවුලවි මෙහෙම කිව්වා:
“ස්වාමීනි, සහරාන්, වස්තුන්, ඉන්සාබ් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් එක්ක එකතු වෙලා අන්තවාදය පතුරුවමින් ජාතික එකමුතුව බිඳහෙළුවා කියලා මට චෝදනා 940ක් එල්ල කරලා තියෙනවා. හැබැයි මං මේ සියලුම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මං කවදාවත් ISIS සංවිධානයට සපෝට් කළේ නෑ. ඒකට සම්බන්ධ වෙන්න එපා කියලා මං මගේ දේශනවලින් පවා මුස්ලිම් ජනතාවට කිව්වා.”
“CID එක මගෙන් ප්‍රකාශ ගත්තේ අමුතුම විදියට.. මට ගැහැව්වා!”
තමන් අත්අඩංගුවට පත් වුණු හැටිත්, ඊට පස්සේ වෙච්ච දේත් ඔහු අධිකරණය හමුවේ විස්තර කළේ මෙහෙමයි:
අත්අඩංගුවට ගැනීම: ප්‍රහාරය වෙච්ච දා හවස දඹුල්ලේදී පොලිසියට අහුවෙලා, පස්සේ CID එකට බාර දීලා තියෙන්නේ.
රැඳවුම් නියෝග: CID එකේ අවුරුදු එකහමාරක් තියාගෙන ඉද්දි විවිධ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා.
චෝදනා: “CID එක ප්‍රකාශ ගන්නේ අමුතුම විදියට. මුලින්ම ප්‍රකාශ අරන්, පස්සේ ප්‍රින්ට් කරපු කොළවලට අත්සන් ගන්නවා. මට CID එක ඇතුළේදී පහරදුන්නා. මගෙන් ගත්ත පාපොච්චාරණය සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. ඒකේ තිබ්බ මගේ නම ඇරෙන්න අනිත් ඔක්කොම බොරු! විජිත පෙරේරා කියන නිලධාරියාව මං අඳුරන්නේවත් නෑ.”
සහරාන් එක්ක තිබුණු සම්බන්ධය මොකක්ද?
සහරාන් හෂීම් එක්ක තිබුණු ගනුදෙනුව ගැනත් ඔහු කරුණු පැහැදිලි කළා.
“2005/2006 කාලයේ සහරාන් ‘දූරුල් අදර්’ එකෙන් අයින් වෙලා ‘ජාතික තව්හීද් ජමාත් (NTJ)’ හැදුවා. මං ඒකට විරුද්ධව හිටියේ. පස්සේ මං කටාර් ගියා. 2015-2016 කාලයේ ලංකාවේ මුස්ලිම් පල්ලිවලට ගිනි තියද්දී, කුරාණය ගිනි තියද්දී, ඌරන්ගේ රූප පෙළපාලි යද්දී ආරක්ෂක අංශ බලාගෙන හිටියා මිසක් මුකුත් කළේ නෑ. මට තේරුණා මේක පිටිපස්සේ රාජ්‍ය අනුග්‍රහය ලබන බෞද්ධ අන්තවාදී දේශපාලන හස්තයක් තියෙනවා කියලා. ඒ ගැන මුස්ලිම් ජනතාව දැනුවත් කරන්නයි මං NTJ සංවිධානය එක්ක එකතු වෙලා වැඩසටහන් කළේ.
2007 ඉඳන් 2017 වෙනකම් සහරාන් එක්ක මගේ කිසිම සම්බන්ධයක් තිබ්බේ නෑ. හැබැයි සහරාන් බැඳලා හිටියේ මගේ නෑදෑ වෙන කෙල්ලෙක්ව. ඒ නිසා සහරාන්වයි එයාගේ මල්ලි රිල්වාන්වයි මං අඳුරනවා. ඒ ඇරෙන්න පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නෑ.”
“ජිහාද් කියන්නේ ආයුධ ගන්න එකම නෙවෙයි”
නුවරඑළිය සහ හම්බන්තොට තිබුණු ‘බයාන්’ දේශනවලදී ආයුධ අතට ගන්න කිව්වා කියන සාක්ෂිකාර ‘අනාස්’ගේ කතාවටත් නවුෆර් මවුලවි පිළිතුරු දුන්නා.
“ජිහාද් කියන්නේ ‘අසීරුවෙන් කරන ඕනෑම ක්‍රියාවකට’. ආත්මාරක්ෂාවට හෝ මුස්ලිම් රාජ්‍යයක පාලකයෙකුට විතරයි සන්නද්ධ අරගලයකට යන්න පුළුවන්. මං ඒ ගැන පැහැදිලි කරද්දී අනාස් අරගෙන තියෙන්නේ ‘ආයුධ අතට ගන්න කිව්වා’ කියන කෑල්ල විතරයි. මගේ දේශනවලදී කිසිම වෙලාවක අවි පුහුණුවක්, ISIS කොඩි පෙන්වීමක්, බෝම්බකරුවන් තේරීමක් සිද්ධ වුණේ නෑ.”
“නැති සංහිඳියාවක් මං නැති කළේ කොහොමද?”
අන්තිමට තමන්ගේ නිදහස ඉල්ලමින් නවුෆර් මවුලවි මෙහෙම කතාව අවසන් කළා:
“ස්වාමීනි, මං සහරාන්ලා එක්ක එකතු වෙලා මේක සැලසුම් කළා කියන්න කිසිම සාක්ෂියක් නෑ. මගේ ෆෝන් එක අරන් පරීක්ෂා කළාට මුකුත් හම්බුණේ නෑ. වත්තලදී සහරාන් මට 9mm පිස්තෝලයක් දුන්නා කිව්වට ඒකටත් සාක්ෂි නෑ. අනෙක, මේ කියන කාලයේ ලංකාවේ කොහොමත් ‘ජාතික සංහිඳියාවක්’ තිබුණේ නෑ. නැති සංහිඳියාවක් මං උල්ලංඝනය කළේ කොහොමද? ඒ නිසා මාව මේ සියලු චෝදනාවලින් නිදහස් කරන්න!”