බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මීගමුව බන්ධනාගාරය ගිනි තැබුවේ බලධාරීන්ගේ නිද්‍රාශීලීකමද?

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය, හදිසියේ සිදු වූවක් නොව වගකිවයුත්තන්ගේ පරිපාලනමය අසමත්කම නිසාම නිර්මාණය වූවක් බවට විපක්ෂයෙන් බරපතළ චෝදනාවක් එල්ල වේ. සිද්ධිය වීමට දින කිහිපයකට පෙර සිටම ඒ පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

“සිද්ධියට දින 3කට පෙර රජය දැනුවත් කර තිබුණා” – හර්ෂණ රාජකරුණා
වත්මන් පාලනයට මෙවැනි අර්බුද කළමනාකරණය කිරීමට හෝ පූර්ව අත්දැකීම් උපයෝගී කර ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රට මුහුණ දී සිටින සමස්ත පාලන දුර්වලතාවය මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් මනාව පිළිබිඹු වන බව අවධාරණය කළේය.

“මේක එක රැයකින් වුණු දෙයක් නෙවෙයි. සිද්ධිය වීමට දින තුන හතරකට පෙර බුද්ධි අංශ මගින් රජය පැහැදිලිවම දැනුවත් කර තිබුණා. නමුත් වගකිවයුත්තන් නිසි තීන්දු තීරණ නොගැනීම නිසා අද මේ වැනි බරපතළ තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේ පරිපාලනමය අකාර්යක්ෂමතාව මීට පෙර ගොවි ජනතාව වගේම ව්‍යාපාරික ප්‍රජාවත් හොඳින්ම අත් වින්දා.”

කැබිනට් මණ්ඩලයෙන් විශේෂ කමිටුවක්: සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට
මේ අතර, සිද්ධියේ බරපතළකම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පුළුල් හා විධිමත් විමර්ශනයක් පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. පසුගිය 06 වනදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා විසින් මෙම විශේෂ විමර්ශන කමිටුව පත් කිරීමට නියමිත බවයි.

මෙම ප්‍රබල ත්‍රිපුද්ගල කමිටුව සමන්විත වන්නේ මෙලෙසිනි:

සභාපති: විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා

සාමාජික: විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා

සාමාජික: ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා

මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ සිද්ධියට තුඩුදුන් සැබෑ හේතු සෙවීම, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සහ මෙවැනි සිදුවීම් අනාගතයේදී යළි ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ සහිත අවසන් වාර්තාව රජයට භාරදීමයි.

CID සහ CCD වහාම පිටත් කර හැරේ
කමිටු පරීක්ෂණවලට අමතරව, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීමට අදාළ අපරාධමය විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත පවරා ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර ඇත. ඒ අනුව, බුද්ධි තොරතුරු නොසලකා හැරීමේ පසුබිම සහ ප්‍රචණ්ඩත්වය පිටුපස සිටි බලවේග සෙවීම සඳහා වන නිල විමර්ශන මේ වන විටත් වේගවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *