🔰- බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර හිමිවුණු ජනාධිපති පොදු සමාව නීතිය ඉදිරියේ සම්පූර්ණයෙන්ම බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 10 තීන්දු කළා.
🔰- අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.
🔰- මේ කතාවේ මුල පටන් ගන්නේ 2016 වසරේදීයි.
🔰- හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වන අවස්ථාවකදී අධිකරණයේ අවසරයකින් තොරව කතා කරමින් සහ බාධා වන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් එවක මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් කළා.
🔰- ඒ අනුව, අභියාචනාධිකරණය විසින් 2018 වසරේදී ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 19 ක සිර දඬුවමක් නියම කළා (එම දඬුවම වසර 6කින් ගෙවී යන ආකාරයට).
🔰- කෙසේ වෙතත්, 2019 මැයි මස 23 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති සමාවක් යටතේ උන්වහන්සේව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට කටයුතු කළා.
🔰- අද ලබා දුන් තීන්දුවෙන් තහවුරු වුණේ එම සමාව ලබා දීම නීත්‍යානුකූල නොවන බවයි.
🔰- අධිකරණයේ පිටු 58කින් යුත් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින්. (සම්පත් අබේකෝන් සහ සෝභිත රාජකරණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ද මීට හිමිවී තිබුණා).
🔰- එහිදී අධිකරණය පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ සමාවක් දීමට නම් නිසි තොරතුරු සහ හේතු මත පදනම් විය යුතු බවයි.
🔰- නමුත් මෙම නඩුවේදී එවැනි හේතු පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවත්, එයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් අධිකරණය තීන්දු කළා.
🔰- කෙසේ වෙතත්, මෙම සමාව ප්රදානය කිරීම අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් මත සිදුවී ඇති බැවින්, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණය බලාපොරොත්තු නොවන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා.