හිරගෙදර ආරක්ෂාව බිංදුවටම වැටිලාද? යකඩ පිහි මල්ලක් අහුවීමත් එක්ක මීගමු පරීක්ෂණ අලුත් වටයකින්!

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී සිදු වූ බිහිසුණු සහ අභිරහස් සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විටත් සූක්ෂ්ම විමර්ශනයක් අරඹා තිබේ.

මෙම පරීක්ෂණවල හැරවුම් ලක්ෂ්‍යය බවට පත්ව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී හමු වූ අද්භූත ආයුධ බෑගයයි.

එහි තිබී පිහිතල, යකඩ ආයුධ මෙන්ම මීගමුව ප්‍රදේශයේ මාළු කැපීම සඳහා බහුලව භාවිත වන වර්ගයේ කුඩා මන්නා පිහි රැසක් සොයාගෙන ඇත.

දැනට නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති මෙම ආයුධ විවිධ ස්ථානවල සඟවා තිබූ ඒවා නොව, එකම බෑගයක පිළිවෙළකට අසුරා තිබීම විමර්ශකයන්ගේ දැඩි සැකයට හේතු වී තිබේ.

ආරක්ෂක රැකවල් මැද මෙතරම් විශාල ආයුධ තොගයක් එකවර ඇතුළට ආවේ කෙසේද යන්න ගැටලුවක් වන අතර, මෙයින් පැහැදිලි වන්නේ කිසියම් මහා පරිමාණ අපරාධයක් සඳහා වූ පූර්ව සංවිධානාත්මක සූදානමක් පැවති බවයි.

සිද්ධිය සිදු වූ අවස්ථාවේදී එහි සිටි සුළු පිරිසක් වූ ජේලර්වරුන්ට හෝ නියාමකවරුන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැති නමුත්, බන්ධනාගාර පොලිස් නිලධාරීන් හත් අට දෙනෙකු රැඳවියන්ගේ දරුණු වධහිංසාවලට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.

එම නිලධාරීන්ට ම්ලේච්ඡ ලෙස පහර දී, ලිංගික අපයෝජනයට ලක් කර, සිරුරේ සංවේදී සහ රහස් ප්‍රදේශ කපා දමමින් අතිශය අමානුෂික ලෙස තුවාල සිදු කර ඇති බව පරීක්ෂණවලදී හෙළි විය.

මෙම බිහිසුණු මෙහෙයුම ‘සුරේෂ්’ ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කලින් සැලසුම් කරන ලද්දක්ද, සහ බන්ධනාගාර පාලනාධිකාරියේ කිසිදු අනුදැනුමකින් තොරව මෙවැනි ආයුධ ළඟ තබා ගැනීමට හැකි වූයේ කෙසේද යන්න සොයා බැලේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී බන්ධනාගාරයේ සියලුම ආරක්ෂක කැමරා (CCTV) කුඩුපට්ටම් කර දත්ත විනාශ කර ඇති බැවින්, CID නිලධාරීන්ට කිසිදු දෘශ්‍ය සාක්ෂියක් මෙතෙක් ලැබී නැත.

එම විනාශ කළ දත්ත යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග මත කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකය වෙත හෝ වෙනත් විශේෂඥ ආයතනයක් වෙත යොමු කිරීමට පියවර ගැනේ.

දැනට පවතින එකම සාක්ෂිය බන්ධනාගාර නිලධාරීන්ගේ කටඋත්තර පමණක් වන අතර, ඔවුන්ද පාලනාධිකාරියේම කොටස්කරුවන් බැවින් එම ප්‍රකාශ සියයට සියයක්ම විශ්වාස කළ නොහැකි බව විමර්ශන අංශ පවසයි.

මෙම අපරාධය පිටුපස බන්ධනාගාර ඇතුළතම පිරිසකගේ සහාය ලැබී ඇති බවට දැඩි සැකයක් පවතී.

රැඳවියන් 200ත් 300ත් අතර පිරිසකට ඝාතන චෝදනා එල්ල කර ඇති බවට ඇතැම් මාධ්‍ය පැතිරවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව CIDය තහවුරු කරයි.
රැඳවියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පවා අධිකරණ අවසරය අවශ්‍ය පසුබිමක, මෙතෙක් කිසිදු රැඳවියෙකුට ඝාතන චෝදනා එල්ල කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමු වී නොමැති අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද මෙතෙක් සූදානමක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *