මුළු මහත් ශ්‍රී ලංකාවම කඳුළින් සහ කම්පනයෙන් ගොළු කරමින්, මීගමුව බන්ධනාගාර පරිශ්‍රය පෙර නොවූ විරූ ආකාරයේ ලේ වැකි යුද පිටියක් බවට පත් විය.
සිරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් දඩමීම් කරගත් ම්ලේච්ඡ රැඳවියන් පිරිසක්, අවසානයේදී ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාර මාලාවක් දියත් කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව පුද්ගලයන් 27 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, සියයකට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
මියගිය නිලධාරීන් අතර සරඹ සන්දර්ශන ප්‍රධාන උපදේශක ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ, ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බළකායේ ජ්‍යෙෂ්ඨ නියාමක ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර, සහ නියාමකවරුන් වන එස්.ඩී.එස්. අබේවර්ධන, ඒ.ඩී. තරංග, ටී.එන්.ආර්. තිලකසිරි සහ බී.එන්.එන්. තරංග යන නිලධාරීහු වෙති.
තම සහෝදර නිලධාරීන්ගේ නිසල දේහයන් බන්ධනාගාර දොරටුවෙන් පිටතට රැගෙන එද්දී, සෙසු කනිෂ්ඨ නිලධාරීන්ගේ විලාපයෙන් මුළු පරිශ්‍රයම දෙදරුම් කෑවේය.
පෙරදින රාත්‍රියේ මර්දනය කර තිබූ නොසන්සුන්තාව යළිත් ඇවිළී ගියේ පසුදින උදෑසන ආහාර ලබා දීමට නිලධාරීන් සිරමැදිරි තුළට ඇතුළු වූ මොහොතේදීය.
එහිදී වියරු වැටුණු රැඳවියන් පිරිසක් නිලධාරීන්ව නිරුවත් කර, අමානුෂික ලෙස වදහිංසා පමුණුවමින් ඝාතනය කිරීමට තරම් තිරිසන් වී ඇති බව සැලවෙයි.
ඔවුන් සතු වූ ගිනිඅවි සහ ජංගම දුරකථන පැහැරගත් රැඳවියන්, සහයට පැමිණි සෙසු නිලධාරීන්ව ද ප්‍රාණ ඇපයට තබා ගෙන ඇත.
ක්‍රීඩා උපකරණවල යකඩ බට මාරාන්තික ආයුධ කරගත් සිරකරුවන් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලය, ඖෂධාලය සහ අවි ගබඩාව ද ආක්‍රමණය කිරීමට උත්සාහ කළහ.
එහෙත්, පෙරදිනම අවි ගබඩාවේ තිබූ ආයුධ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබීම නිසා සිදුවීමට ගිය මහා ලේ වැගිරීමක් වැළකී ගියේය.
තත්ත්වය පාලනයෙන් ගිලිහී යද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය (STF), කැරලි මර්දන ඒකකය සහ යුද හමුදාව කැඳවීමට සිදු විය.
මීගමුව, ගම්පහ සහ හලාවතින් අමතර පොලිස් නිලධාරීන් 500ක් සහ STF භටයින් 200ක් පරිශ්‍රය වටලද්දී, රැඳවියන් තාප්පවලින් උළුකැට සහ යකඩ බටවලින් ප්‍රහාර එල්ල කළහ.
අවසානයේ ප්‍රධාන දොරටුව කඩාගෙන ඇතුළු වූ විශේෂ කාර්ය බළකාය වෙඩි ප්‍රහාර එල්ල කරමින් තත්ත්වය පාලනය කළේය.
මෙම බිහිසුණු මෙහෙයුමේදී STF නිලධාරීන් 8ක් සහ පොලිස් නිලධාරීන් 3ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයින් රැසක් තුවාල ලැබූ අතර, බරපතළ තුවාල ලැබූ 14 දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කෙරිණි.
ගුවනින් තත්ත්වය නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටරයට සහ ඩ්‍රෝන යානාවලට ද රැඳවියන් විසින් පැහැරගත් ගිනිඅවිවලින් වෙඩි තබා තිබීමෙන් තත්ත්වයේ බරපතළකම මැනවින් පැහැදිලි වේ.
කෙසේ වෙතත් මීගමුව බන්ධනාගාරයේ මීට පෙර සේවය කළ සහ මෑතකදී ස්ථාන මාරු ලැබූ උසස් නිලධාරියෙකු විසින් මෙවැනි නොසන්සුන්කාරී සහ මාරාන්තික තත්ත්වයක් ඇති විය හැකි බවට බලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කර ඇත.
එසේ තිබියදීත්, ඒ පිළිබඳව නිසි ආරක්ෂිත පියවරක් හෝ බුද්ධි තොරතුරු විමර්ශනයක් සිදු නොකිරීම රජය පාර්ශවයෙන් සිදු වූ බරපතලම පරාජයකි.