උදේ ඇතුළට, හවස එළියට! “දැන් තියෙන්නේ උඹලගේ ආණ්ඩුව, CID දාලා අල්ලපන්” කියා වහසි බස් දොඩා, පැය කිහිපයකින් නීතිඥයන්ගේ සරණින් ඇප ගත් “Mr. කොත්තු”!

මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන “මිස්ටර් කොත්තු” (Mr. Kottu) ආයතනයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක නැමැති ව්‍යාපාරිකයා, සිය සේවකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
අධිකරණය විසින් සැකකාර ව්‍යාපාරිකයාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, නඩුව ලබන ඔක්තෝබර් 05 වැනිදා යළි කැඳවීමට නියමිතය.
මහරගම ප්‍රදේශයේ පිහිටි සිය ව්‍යාපාරික ස්ථානය තුළදී Sales Targets සපුරාලීමට අපොහොසත් වූ බව පවසමින්, විරාජ් වික්‍රමනායක විසින් අදාළ සේවකයාට කුණුහරුපයෙන් බැන වදිමින් දරුණු ලෙස පහර දෙන ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.
පසුගිය මාසයේ 05 වැනිදා සිදුවූ මෙම කම්පන සහගත දර්ශන ප්‍රසිද්ධ වීමත් සමඟ පොදු මහජනතාවගෙන් ඔහුට එරෙහිව දැඩි අප්‍රසාදයක් සහ විවේචන එල්ල වන්නට විය.
පීඩාවට පත් සේවකයා විසින් මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලද නිල පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වන විට, ව්‍යාපාරිකයා සිය පවුල පිටින්ම ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි අතර ඔහුගේ දුරකථන පවා ක්‍රියා විරහිත කර තිබුණි.
කෙසේ වෙතත්, 30 උදෑසන ඔහු නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට පත් විය.
මෙම පහරදීමේ සිදුවීම කරළියට ඒමත් සමඟ, ඇතැම් පාර්ශව චෝදනා කර තිබුණේ මොහු සාමාන්‍ය ලෙස කොත්තු විකුණා මෙතරම් විශාල ආදායමක් සහ වත්කම් උපයාගත් අයෙකු නොවන බවත්, ඔහු දේශපාලන බලවතුන් වන “රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන්නෙකු” (Money Laundering) ලෙස කටයුතු කරන බවත්ය.
මෙම දේශපාලන විවේචන උණුසුම් වෙමින් පවතිද්දී, අත්අඩංගුවට පත්වීමට පෙර විරාජ් වික්‍රමනායක සිය සේවකයන් කිහිපදෙනෙකුද අසල තබාගනිමින් ආන්දෝලනාත්මක වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. (පසුව එම වීඩියෝව ඉවත් කරගෙන තිබුණි). එහිදී ඔහු තමන්ට එල්ල වන දේශපාලන මඩප්‍රහාරවලට සහ වත්කම් පිළිබඳ චෝදනාවලට ඉතා ආවේගශීලීව මෙලෙස අභියෝග කර සිටියේය:
🗣️ “දේශපාලන වශයෙන් මට මඩ ගහනවා නම්, කළු සල්ලිත් සුදු කරලා තියෙනවා නම්, හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවනේ. ඕගොල්ලන්ගේ ආණ්ඩුව ගිහින් නඩුවක් දාන්න. මට සල්ලි හම්බුණේ කොහොමද? මේ වාහනේ ගත්තේ කොහොමද? මේ කඩ දැම්මේ කොහොමද කියලා ඕගොල්ලෝ හොයන්න. ඕගොල්ලන්ගේ අතේනේ පොලිසිය තියෙන්නේ, CID එක තියෙනවා, උසාවිය තියෙනවා…”
තමන්ට එරෙහිව පවතින පැරණි නඩුවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම නඩුව දැමූ පුද්ගලයා අතීතයේ මහින්ද රාජපක්ෂට සහ එජාපයට දැඩි ලෙස “කඩේ ගිය” අයෙකු බවත්, දැන් ඔහු මාලිමාවට එනම් NPPයට කඩේ යන බවත්ය.
තමන් රාජපක්ෂලාගෙන් වාසි ලබාගත් බවට කියන කතාවලට පිළිතුරු දෙමින් ඔහු, “රාජපක්ෂලාට කඩේ ගිහිල්ලා හම්බෙච්ච ලබ්බක් නැහැ” යනුවෙන් සෘජුවම ප්‍රකාශ කළේය.
එම වීඩියෝව හරහා සමාජ මාධ්‍ය විවේචකයන්ට දැඩි ලෙස අපහාස කළ මිස්ටර් කොත්තු හිමිකරු, තමන්ගේ දියුණුව දෙස බලා මිනිසුන් ඊර්ෂ්‍යා කරන බව පැවසීය.
🗣️”මේ අස්සේ ඊයේ පෙරේදා ඇවිල්ලා මේ ෆෝම් වෙච්ච, කන්නවත් නැති උන් ටික ඉන්නේ. බත් කටක් නැති එවුන්. අපි වගේ තියෙන මිනිස්සුන්ට ඉරිසියයි. මල්ලි, උඹ ලස්සනයි නම් ඉරිසියයි, උඹ සුදුයි නම් ඉරිසියයි, උඹට වාහනයක් තියෙනවා නම් ඊර්ෂ්‍යාවයි,” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේ මහත් ආඩම්බරයකිනි.
එසේම සිය ආයතන තුළට පැමිණ “චණ්ඩි පාට්” නොදමන ලෙසත්, තමන්ගේ ව්‍යාපාරයේ වැරැද්දක් ඇත්නම් හෝ කළු සල්ලි නම් එය රජයට පවරා ගන්නා ලෙසත් ඔහු අභියෝග කළේය.
සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුකළ අමානුෂික පහරදීම, ඉන්පසු නීතිය මඟහැර සැඟව සිටීම සහ සමාජයට අභියෝග කරමින් සිදුකළ මෙම ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රකාශය නිසා “මිස්ටර් කොත්තු” හිමිකරුගේ සිදුවීම මේ වන විට ලංකාව තුළ දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ඔක්තෝබර් මාසයේදී ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *